සුධීරගේත් , මලීගෙත් ප්‍රේම සබඳතාවය පිළිබඳ ව දැන සිටියේ ඔවුන් දෙදෙනාටම හිතවත් කිහිපදෙනෙකු පමණි. සුධීරත් , මලීත් නිතරම හමුවූයේ ගඟ ළග තිබෙන වනරොද අසලය. ගඟේ දිය පහරේ හඬ මැදිව ඔවුන් දෙදෙනා තමන්ගේම ලෝකයක පහස විදින්නට විය.
සුධීර ගමේ සාමාන්‍ය පවුලක ඉපදුණු තරුණයෙකි. ඔහුගේ පියා ඔහුට වයස අවුරුදු දොළහේදී වකුගඩු ආබාධයක් වැළඳී මිය ගියේ ය. එතැන් පටන් සුධීරගේත් ඔහුගේ නැඟණිය සේපාලිකාගේත් බර කරට ගත්තේ සුධීරගේ මව විසිනි. තම දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට සුනේත්‍රා බොහෝ වෙහෙස මහන්සි විය. ඇය ගල් වලේ ගල් කඩන්නට පවා ගියා ය.
මලී කිරිඳිගල ගමේ, දෙල්ගොඩ වලව්වේ හාමුගේත් මැණිකේගේත් බාලම දියණිය විය. වලව්වේ හාමු නිරන්තරයෙන්ම තමාගේ තරාතිරම ගෞරවය පිළිබඳ උදම්අනමින් සිටි පුද්ගලයෙකි. මැණිකේටත් පැවතියේ කුලය පිළිබඳව මවාගත් පුහු අභිමානයකි. සුධීරත් මලීත් පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලැබී ය. මොවුන් දහය වසරේ දී දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් ඇති විය. සුධීර අධ්‍යාපන කටයුතු වලට දක්ෂ වුව ද මලී අධ්‍යාපන කටයුතුවල දී එතරම් දක්ෂ නොවීය. ඔවුන්ගේ සම්බන්ධයට දැන් සිවු වසරකි. මොවුන් දෙදෙනා උසස් පෙළ ලියා අවසන් වූවා පමණි. සුධීර ප්‍රතිඵල එනතුරු සිටියේ නොඉවසිල්ලෙනි.
දිනක් සුධීරත් මලීත් ගඟ අසල වන රොදට ගියේ නිදහසේ කතා කිරීමට ය. දර කඩන්නට වන රොදට පැමිණි බිසෝ මොවුන් දෙදෙනා තුරුල් වී සිටින ආකාරයය දකින්නට විය. ගමේ ඔපාදූප සොයන, කේලාම් කියන බිාසෝට මෙය උණු කැවුම් මෙන් විය. එමෙන්ම සුධීරගේ මව හා බිසෝ අතර අමනාපයක් ද තිබුණි. බිසෝ එදින සවස ම දෙල්ගොඩ වලව්වට පියමැන්නේ ගින්නක් ඇවිලිය හැකි බව සිතට ගනිමිනි.
“හාමිනේ......... හාමිනේ”
“ආ.... මේ බිසෝනේ මන් බැලුවා ඒත් කවුද කියලා. ඉතින් බිසෝ, මොකද උඹ වලව්ව පැත්තේ? ”
“මන් ඉතින් ඉස්සර ඉදන්ම වලව්වට ලෙන්ගතුයි කියලා මැණිකේ දන්නවනේ.”
“මොකෝ මන් නොදන්නෙ”
“මැණිකේ මන් මෙහෙම කියනවට මොකුත් හිතන්න එපා. මන් ඉතින් කියන්නේ මැණිකෙට තියෙන හිතවත්කමටනේ”
“කියපන් බන්. මොකද උඹ කෙකරගාන්නේ? ”
“අර සුනේත්‍රාගේ කොලුවා සුධීරයි, පුංචි නෝනායි ගඟ ගාව වන රොදේ ඉන්නවා මන් මගේ දෑහීන්ම දැක්කා මැණිකේ.”
“මොකක්.... උඹ ඔය කියන්නේ ඇත්තමද?”
“සහතිකයි මැණිකේ”
එදින රාත්‍රියේ දෙල්ගොඩ මැණිකේ වලව්වේ හාමුට බිසෝ පැවසූ සියල්ල පැවසුවා ය.
"මන් කරන්නම්කෝ හොඳ වැඩක්. අහු වෙද්දෙන්කෝ මගේ අතටම."
“මැණිකේ මලී දූ ගැන සෝදිසියෙන් සිටින්කෝ”
දිනක් සුධීරත් මලීත් ගඟ අසල කතා කරමින් සිටින විටදී වලවුවේ හාමු එතැනට ගියේ ය.
ඔවුන් දෙදෙනාම බියට පත් විය.
“උඹ හිතනවද උඹ වගේ ආතක් පාතක් නැති හිඟන්නෙකුට මගේ කෙල්ලව දෙයි කියලා?”
හාමු සුධීරට කම්මුල් පාරක් දී , මලී රැගෙන ගියේ ය. කුමන දේ සිදුකරත් මලිත් සුධීරත් හමුවන්නට විය. ඔවුන්ගේ සම්බන්ධය නතර කිරීමට නොහැකි විය. දිනක් වලව්වේ මැණිකේ කට්ටඩියෙකු හමුවන්නට ගියේ ගුරුකමක් හෝ සිදුකර මෙ සම්බන්ධය නැති කිරීමට හැකිද යන්න දැනගැනීමට ය.
.
“මැණිකෙට ඕනි සම්බන්ධය නැති කරන්නද?”
“එහෙම තමා ගුරුන්නාන්සේ”
“ගුරුකමක් තමා කරන්න තියෙන්නේ. මැණිකේ තව දවස් දෙක තුනකින් ආයේ එන්නකෝ මේ පැත්තේ.”
දින කීපයකට පසුව මැණිකේ නැවතත් ගුරුන්නාන්සේ හමුවීමට ගියා ය.
මැණිකේ, මේ ගුලිය මන් මතුරලා තියෙන්නේ. මේක පුංචි නෝනගේ බත් එකට දාන්න. ඊට පස්සේ අර පටලැවිල්ල ගැන බය වෙන්න දෙයක් නෑ. නැති වෙක එක නැති වෙනවාමයි.
ගුරුන්නාන්සේ පැවසූ ලෙසම වලව්වේ මැණිකේ මලීගේ බත් එකට ගුරුන්නාන්සේ ලබාදුන් ගුලිය කවලම් කර දුන්නා ය. මේ ගුරුකම් පිළිබඳ වලව්වේ හාමු තුළ නම් එතරම් විශ්වාසයක් නොතිබිණි. කාලයක් යනවිට මලී සුධීරව දකින්නටවත් අකමැති විය. සුධීර දකින විටත් ඇය කෝපයට පත්විය. මලීගෙ මෙ හැසිරීම සුධීරට අදහා ගත නොහැකි විය.
කාලයක් ගිය පසු ව මලීගේ මනස දුර්වල විය. ඇය මිනිසුන්ට මුහුණ දීමට අකමැති විය. පාරේ ගමන් කළේ බිම බලාගෙනය. ජීවිතය පවා නැතිකර ගැනීමට ඇය උත්සාහා කළා ය. වලව්වේ හාමුත් මැණිකේත් ඇයට යන්ත්‍ර මන්ත්‍ර, දෙවි පූජා කරමින් මලීව සුවකර ගැනීමට උත්සාහ කළත් ඒවා සාර්ථක නොවීය. තම දියණිය මනෝ වෛද්‍යවරයෙකු ළඟට ගෙන යාමට ඔවුන් ලැජ්ජා විය. දිනක් රාත්‍රියේ මුළු ගමම දෙවනත් කරමින් උලමෙකුගේ විලාපයක් ඇසිණි. බොහෝ දෙනා මිමුණුවේ මරණයක් අතළඟ බවයි. ඊට දින දෙකකට පමණ පසු මලී අතුරුදහන් විය. සෑම තැනකම සෙව්වත් ඇය සොයා ගැනීමට නොහැකි විය. පසුවදා උදෑසන මලීගේ සිරුර ගං ඉවුරේ තිබී හමුවිය.
HS/2016/0578
කේ.කේ.පි. කුමුදුනී