Pages

Wednesday, July 31, 2019

ගීයක අරුත

           

 මේ තරම් සියුමැලිද කළු ගල්
 හිතන්නටවත් බැරි නිසා      
 මම ගියා අවුකන බුදුන්ටත්
 දෑස් දුන් මිනිසා සොයා
 දෑස් දුන් මිනිසා සොයා

 කලා වැව ළඟ ඉළුක් හෙවණක
 මැටි පිළක පැදුරක් එලා
 රිදුම් පිරිමදිමින් බලයි ඔහු
 මැරෙන ඉපදෙන රළ දිහා
 මැරෙන ඉපදෙන රළ දිහා

 ඉසුරුමුණියේ නුඹ තැනූ
 පෙම්බරිය කොතැනද කියා
 මා ඇසු විට හිනැහුනා ඔහු
 තවම තනිකඩ යැයි කියා

 මේ තරම් සියුමැලිද.... 




         වර්තමානයේ දී ඉතා වේගයෙන් ගීත රචනා වන ආකාරයක් දැකගත හැකිය. විශේෂයෙන්ම අද තරගයකට මෙන් ගීත රචනා වන සේයාවක් දැකගත හැකිය. එසේ රචනා වන ගීත අතුරෙන් අමරණීය ගීත රචනා නොවන තරම්ය. ලාංකීය සුභාවිත ගීතයේ නොමැකෙන මතක සටහන් තබමින් රජි වසන්ත වෙල්ගම නම් ගීත රචකයා අතින් නිමැවුණු දර්ශන රුවන් දිසානායකයන් විසින් සංගීතවත් කළ ආචාර්ය සුනිල් එදිරිසිංහ ශූරයන් විසින් ගායනා කළ " මේ තරම් සියුමැලි ද කලු ගල් " නම් ගීතය ඉතා විශිෂ්ට ගීතයකි. මෙම ගීතය වර්තමාන සහෘද ජනතාව තුළ හද වැළද ගත් ගීතයක් ලෙස සාමාන්‍ය ආදරය, විරහවා වැනි මාතෘකා වලින් ඔබ්බට ගිය වෙනස් ම මාතෘකාවක් යටතේ මේ ගීතය රචානා වී ඇත. මෙම ගීතය තුළ ප්‍රධාන වශයෙන්ම මාතෘකා කර ඇත්තේ අතීතයේ සිටි කලාකරුවෙකුයි. එම කලාකරුවාගේ ජීවිතය හා චරිතය මෙම ගීතය මගින් ඉස්මතු කර දැක්වීමට ගීත රචකයා උත්සහ දරා ඇත.
                                                        මේ ගීතය තුළින් ඉස්මතු කරන කලා චරිතය නම් ශිලා නිර්මාණ සිදු කළ කලාකරුවෙකුගේ චරිතයයි. ගීතයේ පද දෙස බැලූවිට පෙනී යන්නේ එයයි. එහෙත් මෙම ගීතයේ පද දෙස සියුම්ව බැලුවහොත් ඊට එහා ගිය සැබෑවටම කලාවට ආදරය කරන අහිංසක දුප්පත් කලාකරුවෙකුගේ රසෝරාවය මේ ගීතය තුළ දැකිය හැකිය. රජි වසන්ත වෙල්ගම මහතා ඒ කලාකරුවා පිළිබදව දක්වන්නේ මෙලෙසය.

 " මේ තරම් සියුමැළි ද කළුගල් 
    හිතන්නටවත් බැරි නිසා 
    මම ගියා අවුකන බුදුන්ටත් 
    දෑස දුන් මිනිසා සොයා " 

                                             අනුරාධපුර රාජධානි සමය ආරම්භයත් සමග ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාරයන් වලට වඩා දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනැගී තිබුණි. සරළව පැවසුවහොත් සුද්දා මළපහ කිරීමට කැළයේ පදුරක් පහත් කරනා සමයේ අපේ සිංහලයේ කලු ගලින් තැනූ වැසිකිළි පාවිච්චි කළහ. අතීතයේ සිටම අපේ කලාකරුවන් කලු ගලින් විවිධ නිර්මාණයන් සිදු කළහ. ඒ අතර අදටත් ලෝක පූජිත සමාධි බුදු පිළිමය, අවුකන බුදු පිළිමය විශිෂ්ට නිර්මාණයන් ලෙස සළකනු ලබයි. වෙල්ගම මහතා විසින් ප්‍රධාන වශයෙන් ම මෙම ගීතය හරහා ඉස්මතු කරන්නේ අවුකන බුදු පිළිමය තැනූ කලාකරුවාය. 
                                                  ඓතිහාසික ශිලා නිර්මාණ අතර ප්‍රධාන තැනක් හිමි කර ගන්නා අවුකන පිළිමය දෙස කලාත්මක ඇසකින් බැලුවහොත් එය සැබැවින්ම කලු ගලින් නිමයන ලද්දක්දැයි සැක සිතෙන තරමට විශ්මජනක අයුරින් නිමවා ඇත. ඒ පිළිබදව ගීත රචකයා දක්වන්නේ මෙලෙසය. 

 " මේ තරම් සියුමැළි ද කළුගල් 
   හිතන්නටවත් බැරි නිසා " 
                                                වර්තමානයේ මෙන් අතීතයේ දී යාන්ත්‍රික තාක්ෂණය නොදියුණු සමයක මෙවැනි නිර්මාණයන් සිදු කළ අයුරු අදටත් පුදුමය උපදවන දෙයකි. මෙම අවුකන පිළිමය දෙස හොදින් බලන්නෙකුට බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින සේයාවක් දක්නට ලැබේ. ගී පද රචකයා මේ හරහා ඉස්මතු කරන්නේ මෙකී අවුකන බුදු පිළිමය නිමැවූ කලාකරුවාය. 

 " මම ගියා අවුකන බුදුන්ටත්
  දෑස දුන් මිනිසා සොයා " 

                                             අවුකන බුදු පිළිමය නිර්මාණය කරපු ඒ අපූරු කලාකරුවා මෙම ගීතයේ තේමාව බව ගීත රචකයා ඒ හරහා දක්වයි. එම කලාකරුවාගේ ජීවන තත්ත්වය පිළිබදව ගීත රචකයා දක්වන්නේ මේ ආකාරයටය.

 " කලාවැව ළඟ ඉලුක් හෙවණක 
   මැටි පිලක පැදුරක් එලා 
   රිදුම් පිරිමදිමින් බලයි ඔහු 
   මැරෙන ඉපදෙන රළ දිහා "  

                                             මෙම කලාකරුවා සියලු සැප සම්පත්වලින් යුක්ත අධි සුඛෝභෝග ජීවිතයක් ගත නොකළ අයෙකු බවත් ඔහු ඉතා දුප්පත් අහිංසක මිනිසෙකු බව ගීත රචකයා" කලා වැව ළග ඉලුක් හෙවණක - මැටි පිලක පැදුරක් එලා.." යන පබැදුමෙන් දක්වයි. කලා වැව අසල ඉලුක් ගස්වලින් වහළය සෙවෙලි කළ, මැටියෙන් තැනූ පැලක පැදුරක් එලා විවේකීව මෙම කලාවරුවා සිටින බව ගී පද රචකයා දක්වයි. රලු කලු ගල් එක්ක පොරබදා සියුම් නිර්මාණ කරන ඔහුගේ සිරුරේ රිදුම් ඔහුම පිරිමදිමින් කලා වැවේ ජලය සුලගට නටන ආකාරය දෙස නෙත් යොමා බලා හිද තම විඩාව මහන්සිය නිවා ගන්නා බවක් ගීත රචකයා දක්වයි. සැබෑ කලාකරුවා යනු සිය නිර්මානයන් දෙස බලා තමාම සතුටු වන පුද්ගලයෙකි. ඔහු තමන්ගේ නිර්මාණයන්ට ආදාරය දක්වන වා මිසක් ඒ හරහා ලෙෳකික සැපසම්පත් සොයා නොයන්නෙකි. අතීතයේ සරලව ජීවත් වූ කලාකරුවා ජීවිතයේ පවතින අනියත බව මනාව වටහාගත් පුද්ගලයෙකි. ඒ බව ද ගීත රචකයා ඉතා අපූර්වතම යෙදුමක් භාවිතා කරමින් ඉදිරිපත් කරයි. එනම්,

 " මැරෙන ඉපදෙන රළ දිහා " 

                                                 සෑම ජීවිතයකට පොදු වූ ධර්මතාවය මේ ගීතයේ ඇති මතු දැක්වූ පද ත්‍රිත්වයෙන් ඉතා සරළව ගීපද රචයා පෙන්වා දී තිබේ. ගී පද රචකයා තවදුරටත් මේ කලාකරුවාගේ සරළ බව සහ ඔහුගේ ජීවිතය ගැන දක්වන්නේ මෙලෙසය.

 " ඉසුරුමුණියේ නුඹ තැනූ 
   පෙම්බරිය කොතැනද කියා 
   මා ඇසූ විට හිනැහුණා ඔහු 
   තාම තනිකඩ යැයි කියා " 

                                           ඉතා දක්ෂ ලෙස ඉසුරුමුණියේ පෙම් යුවල නිර්මාණය කර ඇත. ශාලිය අශෝකමාලා ප්‍රේම වෘතාන්තයට අනුව එය නිමැවු බවට උගතුන් තුළ මතයක් පවති. කෙසේ වෙතත් එහි ආදරයෙන් එකට වෙලී සිටිනා යුවලක් දක්නට ඇත. ආදරය ඉස්මතු වි පෙනෙනාකාරයට එය නිමවා ඇත. කෙසේ වෙතත් මෙම නිර්මාණය සිදු කළ කලාකරුවා එය නිමවන විටත් තනිකඩ පුද්ගලයෙකු බව ගීත රචකයා දක් වන්නේ මෙලෙසය..

 " මා ඇසූ විට හිනැහුණා ඔහු
    තාම තනිකඩ යැයි කියා " 

                                           ඇතැම්විටෙක කලාකරුවා තම ජීවිතයම කැප කරන්නට ඇත්තේ තම කලා කටයුතු සදහා පමණක් ම විය යුතුය. එහෙත් ඒ පිළිබදව ඔහු තුළ කිසිදු දුකක් හෝ පසුතැවීමක් නොමැත. ඔහු නිරන්තරයෙන් සිනා මුසු මුහුණින් සිටි. ජීවත් වීමට ඔහුට අවැසි ධෛර්ය ශක්තිය ඇත්තේ ඔහුගේම නිර්මාණයන් තුළය. මේ අනුව වර්තමානයේ රචනා වන ගීත අතරේ මෙම ගීතය අමරණීය වන්නේ මේ මතු දක්වන්ට යෙදුණු කරුණු නිසාය. අද තරගයකට මෙන් ගීත රචනා කළ ද ඒවා රසවිදිය නොහැක. වෙල්ගමයන් විසින් රචනා කළ දර්ශන රුවන් විසින් සංගීතය මුසු කළ ආචාර්ය සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කළ මෙකි ගීතය ශ්‍රවණයටත්, රසවිදීමත් සහෘදය මීට පුරා වසර ගණනකට පෙර අතීතයට රැගෙන යන මෙම ගීතයෙහි පද අරුත මෙසේ දැක්විය හැකිය. මිනිසා යනු එකිනෙකාට වෙනස් අදහස් ඇති ජීවි පිරිසකි. ඒ නිසා මීට වඩා වෙනස් අයුරකින් මේ ගීතය තවකෙකු රසවිදිය හැකිය.



(උපුටා ගැනීමකි)

Saturday, July 27, 2019

පරිසරය හා මිනිසා






           අතීතයේ පරිසරය හා මිනිසා අතර මනා සබඳතාවයක් තිබුණි. අතීත මිනිසා නිරන්තරයෙන් පරිසරය ආරක්ෂා කළහ. සතා සිවුපාවන්ට පවා කරුණාව දැක්වූහ. එකල ගැමියන් අස්වැන්න නෙලන කාලයේදි අස්වැන්නෙන් කොටසක් කුරුල්ලන්ට ද ඉතුරු කරන්නට විය.  නමුත් වර්තමානය වන විට පරිසරය හා මිනිසා අතර ඇති සබඳතාවය පලුදු වී ඇත. ලෝකයේ දියුණුවත් සමඟ මිනිසා පරිසරය අතික්‍රමණය කර තිබේ. 
          ලෝකය ක්‍රමයෙන් දියුණු වන විට ඇති වූ කාර්මීකරණය හේතුවෙන් අද වන විට ගස් වැල් විශාල වශයෙන් විනාශ වෙමින් පවතියි. එමෙන්ම මුදල් වලට කෑදර මිනිසුන්  වනාන්තර විනාශ කරනුයේ දෙවරක් නොසිතා ය. අතීත ගැමියා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකට ගසක් කපන්නට සිදු වුවහොත් ඒ අසල පැළයක් සිටුවිය.




          මීට වසර ගණනාවකට පෙර වැඩිහිටියන් කඩයට යන විට රැගෙන යනු ලැබුවේ පන් මල්ලකි. නැතහොත් වේවැල් කූඩයකි. එකල අද මෙන් ප්ලාස්ටික් , ෂොපින් කවර තිබුණේ නැත. අද වන විට ප්ලාස්ටික් හා පොලිතින් පිළිලයක් මෙන් සමාජයේ ව්‍යාප්තව ඇත. මේවා පරිසරයට එකතු වූ විට , කොපමණ අවුරුදු ගණනාවක් ගත වුව ද දිරාපත් නොවේ. විශාල කුණු කඳු නිර්මාණය වන්නේ මේ නිසා ය. සමහර යුරෝපා රටවල ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට උපක්‍රම රාශියක් භාවිතා කරයි. ප්ලාස්ටික් හා වීදුරු බෝතල් වලින් බද්දක් අය කිරීම ඉන් එක් ක්‍රමයකි. මේ මුදල ආපසු ලබා ගැනීමට නම් ප්ලාස්ටික් හා වීදුරු බෝතල් කඩයට දිය යුතුය. මේ නිසා ප්ලාස්ටික් භාවිතය අවම වේ.  ලංකාවේ ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමේ කාලය  අවසන් වූ විට එහි තිබෙන ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණය අති විශාලය. ලංකාවේ ප්ලාස්ටික් හා පොලිතින්  භාවිතය අවම කිරීමට‍ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? 
        එමෙන්ම ගෝලියකරණය හේතුවෙන් ඇති වුණු කර්මාන්තශාලා ලංකාව පුරා දැකිය හැකිය. මෙම  කර්මාන්තශාලා වලින් බැහැර වන අපද්‍රව්‍ය බොහෝ අවස්ථාවල බැහැර කරනුයේ ගංඟා , ඇල දොළ , වැව් ජලයට ය. මේ හේතුවෙන් ජල දූෂණය ඇති වේ. මෙය ප්‍රබල පාරිසරික ගැටළුවකි. මේ ජලය පානය කරන ජනයා විවිධ රෝගි තත්වයන්ට ගොදුරු වේ. පසුගිය කාලයේ ඇති වූ රතුපස්වල සිදුවීමට පසුබිම වන්නේ ද එම ප්‍රදේශයේ පැවති කර්මාන්තශාලාවකින් ජලයට අපද්‍රව්‍ය බැහැර කිරීමයි. ජල දූෂණය අවම කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සැකසිය යුතුය. 




           එමෙන්ම කර්මාන්තශාලා වලින් නිකුත් වන අහිතකර වායුන් නිසා වායු දූෂණය ඇති වී තිබේ. ඇතැම් කාලවලදී චීනයේ බීජින් නගරය කළු දුමාරයකින් වැසී යන්නේ මේ නිසාය.  
          එමෙන්ම මුහුදට අපද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් කොරල්පර වද වී යෑමේ තර්ජනටකට ද ලක් වී ඇත. ඒ වගේම මුහුදු ජීවින් පවා ජීවත් වීමේ අවදානමකට ගොදුරු වී ඇත.  
       පරිසර දූෂණය අවම කර ගැනීමට නම් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතුය. ඒ වගේම ටොෆි කොළය පවා බිම දමන සමාජයක සිටින මිනිසුගේ ආධ්‍යාත්මයත් සැකසිය යුතුව ඇත.   

Tuesday, July 23, 2019

අලි මිනිස් ගැටුම









        “අලි මිනිස් ගැටුම” මේ මෑතක සිට මාධ්‍යය මගින් අපට මනාව හුරු පුරුදු කොට ඇති වදනකි. අලි මිනිස් ගැටුම යනු අප රටට පමණක් සීමා වූවක් නොවේ. එය ආසියා අප්‍රිකා මහාද්වීපයන් හි වනගත සහ ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන් සේම අලි ඇතුන් ද එකසේ මුහුණ පාන ගැටලුවකි. අලි මිනිස් ගැටුම යන වදන සමාජයේ ඉස්මතු වූ ලෙසින් අලි මිනිස් සහජීවනය යන වදන ඉස්මතු නොවීම පුදුම සහගතය. නමුත් අද මෙන් හය හත් ගුණයක වනාන්තර සහ අලි ඇතුන් ගහනයක් පැවැති අතීතයේ සිට මෙරට අලි මිනිස් සහජීවනයක් පැවැතී ඇත.

   ලංකාවේ අලි මිනිස් ගැටුමේ ආරම්භය කුමන ආකාරයකින් සිදු වුවත් එය උග්‍ර ලෙස සිදු වීමට තුඩු දුන්නේ 70 දශකයේ අග භාගය පමණ වනවිට මෙරට ඇති කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. නියම සැලසුමකින් තොරව ආරම්භ කෙරුණු මෙම සංවර්ධන ක්‍රියාදාමය නිසා සිදු වූ වන විනාශය හේතුවෙන් වනඅලින් ඇතුළු සතා සිවුපාවුන්ට ඔවුන්ගේ වාසභූමි අහිමි විය. එමෙන්ම ආහාර හිඟ විය. වන විනාශය නිසා ස්වාභාවික දිය කඩිති වියළී යෑම හේතුවෙන් සතුන්ට අවශ්‍ය පානීය ජලය අහිමි විය. අලිමංකඩ ඇහිරිණි. 

Sunday, July 21, 2019


මහමඟ ජීවිත





                 


                    ලෝකයේ මිනිසුන් විවිධ පංති වල ජීවත් වෙති. කුමන හෝ පංතියක වේවා අප දරුවා දෙස බැලිය යුත්තේ කිසිදු පංති බේදයකින් තොරව ය. වර්තමානය වන විට ළමා අයිතිවාසිකම් ඉටුවනවාද? යන්න සොයා බැලිය යුතු ය. කායික හා මානසික පෝෂණයෙන් යුක්ත නොවන  , ළමා අයිතිවාසිකම් ඉටු නොවන පිරිසක් ද වර්තමාන සමාජයේ අප ඉදිරියේ සිටිති. ඒ මහමඟ ජීවත් වන වීදි දරුවන් ය. සමාජය තුළ මෙම දරුවන් අනාරක්ෂිත තත්වයකට පත්ව ඇත. 
                   මෙම දරුවන් වීදී දරුවන් බවට පත් වන්නේ ඇයිද? යන්න සිතා බැලිය යුතු ය. දරුවෙකු වීදි දරුවෙකු බවට පත් වන්නේ සමාජයේ ම වරදක් නිසා ය. අධික දරිද්‍රතාවය හේතුවෙන් මහමඟ දමා යන දරුවන් මෙලෙස වීදි දරුවන් ලෙස හැදී වැඩේ. එමෙන්ම දෙමාව්පියන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් නිවසේ ජීවත් වීමට නොහැකිව නිවස අතහැර මහමඟ නිවස කරගත් දරුවන් ද මේ අතර සිටිති. මව විදේශ රැකියා වලට යාම නිසා මව් සෙනෙහස අහිමි වීමෙන් , නිවසේ ජීවත් වීමට නොහැකි වීමෙන් දරුවන් මහමඟ ජීවත් වීම තෝරා ගනී. මෙම තත්වයට දරුවෙකු පත් වීමට හේතු වී ඇත්තේ , අධික දරිද්‍රතාවය හා විරැකියාව නොවේද? මෙම දරුවන් විධිමත්ව ආයතන ගත වූයේ නැතිනම් හෝ මිය ගියේ නැතිනම් වීදි දරුවන් ලෙස සමාජ ගත වේ. 



Image result for street children photography



                    මෙලෙස මහමඟ හැදී වැඩෙන දරුවන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය , ගණිකා වෘත්තිය , සමලිංගික සම්බන්ධතා වැනි සමාජ විරෝධි ක්‍රියා වලට පෙලඹීමේ ඉඩකඩ වැඩි ය. විවිධ වූ සමාජ කණ්ඩායම් මොවුන් නතු කරගනි. ඔබ දන්නවාද? මෙලෙස කුඩා කාලයේදී ම තමන්ට නොගැලපෙන සමාජ ක්‍රියා වල යෙදීමෙන් ඇතැම් දරුවන් විවිධ මානසික රෝග වලට පවා ලක් වේ. 
                          දරුවා යනු දරුවාම ය. මොවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු නොවේද? නැතිනම් මුළු ජීවිත කාලයටම මෙම දරුවන්ට උරුම විය යුත්තේ මහමඟද? අනාගතයේ මෙවැනි දරුවන් සිටිය යුතු නොවේ. ඒ සඳහා ක්‍රමානුකූල වැඩසටහනක් අවශ්‍ය වේ. මෙම දරුවන්ට ක්‍රමානුකූල පාසල් අධ්‍යාපනයක් ලබා දී මොවුන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතුව ඇත.

Saturday, July 20, 2019

ගමයි , පන්සලයි , වැවයි , දාගැබයි







     අවුරුදු 2500 ක දිගු අතීතයකට උරුමකම් කියන අප මහා සංස්කෘතියකට ද උරුමකම් කියන රටකි.  අතීතයේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ ප්‍රධාන සංකල්පයක් ලෙස ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සංකල්පය ඇති විය. මිනිසා ක්‍රමයෙන් ශිෂ්ටාචාර ගත වන විට ගම නිර්මාණය විය. ආර්යන්ගේ පැමිණීමත් සමඟ ඔවුන් ගංඟා ආශ්‍රිතව තම ජනාවාස පිහිටුවා ගත්හ. මේවා ග්‍රාම නමින් හැඳින්විය. නිල්ල පිරුණු ගොයමින් ගම සුන්දර විය. හේන් ගොවිතැන ද අඩු වැඩි වශයෙන් පැවතිණි.

            දේවානම්පියතිස්ස රජුගේ කාලයේ දී සිදු වූ මහින්දාගමනයත් සමඟ මෙරට තුළ සංස්කෘතික පෙරළියක් ද ඇති විය. මේ කාලයේ දී රටේ ප්‍රධාන ආගම බෙෳද්ධ ආගම විය. ඒ වගේම උතුරු ඉන්දියානු කලා සම්ප්‍රදායේ ආභාසය ඇතිව දාගැබ් නිරුමාණය වීම මහින්දාගමනයත්  සමඟ ආරම්භ විය. එලෙස ඉදි වූ පළමු දාගැබ ථූපාරාමය යි. ඉන් අනතුරුව ද විවිධ රජවරුන්ගේ කාල වලදී මහා පරිමාණ දාගැබ්  නිරුමාණය විය. මෙලෙස ඉදි වූ දාගැබ් අසල භික්ෂූන් වහන්සේලාට වැඩ වාසය කිරීමට පන්සල් නිර්මාණය විය. අතීත ගැමි ජනතාව පන්සල සමඟ මනා සබඳතාවයකින් කටයුතු කළහ. ගමේ කුමන හෝ කටයුත්තක් සිදු කිරීමේදි භික්ෂූන් වහන්සේලාගෙන් අනුශාසනා ලබා ගැනීමට ජනතාව අමතක නොකළහ. වෙහෙස මහන්සි වී වැඩ කරන ගැමියා වෙහෙස නිවා ගැනීමට පැමිණෙනුයේ පන්සලේ බණ මඩුවට ය. 

             මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වාරි කර්මාන්තය ද දියුණු විය. කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට අතීත රජවරු ගම්මාන අසල විශාල වශයෙන් වැව් නිර්මාණය කළහ. පසුකාලීනව මහා පරිමාණයේ වැව් නිර්මාණය විය.  එකල ජනයා ජීවත් කලේ ද වැව් ජලය යි.

            මෙලෙස ගම, පන්සල, වැව, දාගැබ යන කොටස් එකිනෙකට බැඳී පැවතිණි.  අතීතයේ මෙම සංකල්පය මත පිහිටා නිර්මාණය වූ ගම් අදටත් අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශ වල දක්නට ලැබේ.

                                                     ගුරුකම        සුධීර‌ගේත් , මලී‌ගෙත් ප්‍රේම සබඳතාවය පිළිබඳ ව දැන සිටි...